නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂවලට නාමයෝජනා භාරදීමට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීමට මෙන්ම නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (11) මධ්‍යහන 12 න් අවසන් වනවා.

එහිදී විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක පවසනවා.

නාම යෝජනා භාරදී අවසන් වූ පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසළ පෙළපාලි පැවැත්වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියා.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඊයේ දිනයේත් නාම යෝජනාවලට අත්සන් කීරීම මෙන්ම නාම යෝජනා භාරදීමද සිදු කළා.

ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා භාර දීම ඊයේ සිදු කෙරුණේ එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රීක්කය සදහාද ඊයේ නාම යෝජනා භාරදුන්නා.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළ ජාතික ජන බලවේගයේ නාම යෝජනා භාර දීම සිදු කරනු ලැබුවේ එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල් කාන්ත ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා භාර දීම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

මීට අමතරව සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දුන්නේ, කණ්ඩායම් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්.

කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් විසින් සමගි ජන බලවේගය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඊයේ නාම යෝජනා භාර දුන්නා. එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයට අදාළ සමගි ජන බලවේගයේ නාම යෝජනා භාර දීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ, ගම්පහ, මාතර සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා අත්සන් කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ගම්පහ, කළුතර, අනුරාධපුර, බදුල්ල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා අත්සන් කිරීම කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, මාතර දිස්ත්‍රික්කය සදහා ඊයේ නාමයෝජනා භාර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

මීට අමතරව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන සන්ධානගතව මෙවර මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් තරග කිරීමට ඊයේ අත්සන් තැබුවා.

මේ අතර සර්ව ජන බලය පක්ෂය කොළඹ, අනුරාධපුරය, සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා ඊයේ භාර දුන්නා.

එම පක්ෂයේ මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවලට අදාළ නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම සිදු කෙරුණේ එහි නායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන්.

ජන අරගල සන්ධානය ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඊයේ නාම යෝජනා භාර දී තිබෙනවා.

එමෙන්ම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සදහා නාම යෝජනා පත්‍ර භාර දීමට කටයුතු කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ .සුමන්දිරන් විසින්.

source :- https://shorturl.at/9ugEe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here