එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ඉදිරි සහායෝගීතා වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇති උනන්දුව පිළිබඳව නිත්‍ය නේවාසික නියෝජිතවරිය මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක දැනුවත් කර තිබෙනවා.

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්‍රයත්නයන් මෙහිදී ඇගයීමට ලක් කළ අසූසා කුබෝටා රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා කඩිනමින් ඩිජිටල්කරණයට යොමුවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

මෙම ප්‍රතිසංස්කරණ මනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයද පැහැදිළි කළ කුබෝටා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ මුලපිරීම් ඉදිරියට ගෙන යාමට සහ ඩිජිටල්කරණයට අනුවර්තනය වීමට අවශ්‍ය නිපුණතාවලින් සහ දැනුමෙන් රාජ්‍ය නිලධාරීන් සන්නද්ධ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදිමට සූදානම් බවද ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වී තිබෙනවා.

source :- https://tinyurl.com/5dbna4d7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here