
රජයේ මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පහර දී තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන ලද මුද්‍රණාල පොදුජන එක්සත් පෙරමුණ හා සමගි ජන බලවේග වෘත්තිය සමිතිවල සභාපතිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල, ආයතනයේ වගකිව යුතු නිලධාරීන් ලෙස නීතිය හා සාමය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කළා.
අයුතු ජනරාශියක සාමාජිකයින් වශයෙන් කටයුතු කරමින් ආරක්ෂක නිලධාරියකුට අතින් පයින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

දහවල් කෑම පැයේදී සේවා ස්ථානයෙන් බැහැරවීමට අවසර නොදුන්නේ යැයි චෝදනා කරමින් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරු සඳහන් කළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පිහියක් රැගෙන විත් සැකකරුවන්ට තර්ජනය කිරීම හේතුවෙන් මෙම ගැටුම හටගත් බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
source :- https://tinyurl.com/39c6tney








