සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගනේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතන කිරීම ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේගේ උපදෙස් මත රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පලායාමට සැලසුම් කර සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති අතර, ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.

මෙරට සංවිධානාත්මක අපරාධ සිද්ධි රැසකට සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධකම් පැවැත්වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිරි අංක 05 තුළදී නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඒ බරපතල තත්ත්වයෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ සෝදිසියකට ලක්කළ අතර, වෙඩික්කරු අධිකරණ භූමියට පැමිණෙන ආකාරය සහ වෙඩි තැබීම සිදුකර පළායන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

මෙම ඝාතනය සඳහා වෙඩික්කරුට සහය පළ කළ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් කාන්තාවක් පිළිබඳව ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදුකර වෑන් රථයකින් පළායමින් සිටි වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කමාන්ඩෝ සමිඳු නමැති 28 හැවිරිදි අයෙක්.

කෙසේ වෙතත් මෙම සැකකරු අන්වර්ථ නම් රැසකින් පෙනී සිටිමින් මෙම ඝාතනය ඇතුළු ඝාතන 6ක් සිදුකර ඇති බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මොහු යුධ හමුදාවේ කමාන්ඩෝ බළකායෙන් පළාගිය සෙබළෙකු බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ සමීර දිල්ශාන් හෙවත් කමාන්ඩෝ සමිඳු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.

මහරගම – දඹහේන පාරේ ලිපිනයක පදිංචි මෙම සැකකරු පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීඹට පොලිසිය සමත්වී තිබෙනවා.

සමීර දිල්ෂාන් හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති මෙම වෙඩික්කරුට ගනේමුල්ලේ සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් බවටයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

එම මුදලින් වෙඩික්කරුට මෙතෙක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ මෙම පුද්ගලයා සහ ඔහුට සහය දුන් බව පැවසෙන කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිටයි.

වෙඩිතැබීමෙන් පසු දෙදෙනා මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පළාගොස් තිබෙනවා.

එලෙස පළාගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ නීතීඥ හැදුනුම් පතයි.

එය පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ඉදිරිපත් කරන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරගහ හේන ප්‍රෙදේශයේ පදිංචිකරුවෙක් බවට තොරතුරු වාර්තාවනවා.

එම පුද්ගලයාද කෙසෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ගනේමුල්ලේ සංජීවට වෙඩි ප්‍රහාරය එල්ලකළ වෙඩික්කරු වන සමීර දිල්ශාන් හෙවත් කොමාන්ඩෝ සමිඳුට සහය දුන් නීතිඥවරියක් ලෙස වෙස් වලාගත් කාන්තාව සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

වෙඩික්කරු අධිකරණ භූමියට පැමිණෙන CCTV දර්ශනවල එම කාන්තාවද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ ඔස්සේ පොලිස් කණ්ඩායම් 5ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

source :- https://tinyurl.com/ynsfx7s3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here