කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා, සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු සහභාගී වී තිබෙනවා.

එහිදී අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයින් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු කිරීමටද මෙම රැස්වීමේදී එකඟතාවය පළවී තිබෙනවා.

source :- https://tinyurl.com/mvpusbdw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here