2022 / 2023 වසරවල පැවැති ඉහළ උද්ධමනය 2024 දී අඩුවුවත්, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී උද්ධමනය යළි ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරනවා.

එහි දැක්වෙන්නේ සහල්, පොල් සහ පොල්තෙල් ඇතුළු අයිතම මිල දී ගැනීමේදී පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී ඉහළ මිලක් දැරීමට ජනතාවට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එළිදක්වා ඇති 2025 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාවල 2022/2023 වසරවල පැවැති ඉහළ උද්ධමන කාල පරිච්ඡේදවලින් පසු අඩු මට්ටමක පැවැති උද්ධමනය 2024 දී තවදුරටත් අඩු වූ නමුත්, 2025 වසරේ දෙවැනි කාර්තුවේදී උද්ධමනය ඉහළ යනු ඇති බව පෙන්වා දි තිබෙනවා.

මතුපිට උද්ධමනය 2025 තුන්වැනි කාර්තුවේදී 5% දක්වා වැඩි වනු ඇති අතර, එය 2026 වසරේ මැද භාගය වනවිට උද්ධමන ඉලක්කයේ සිට ප්‍රතිශතාංග 2 කින් පමණ ඉහළින් පැවතීමේ හැකියාවක් පවතින බව මහ බැංකු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන්.

2024 ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී තෝරාගත් අයිතම කාණ්ඩවල මාසික ගෘහ ඒකක වියදම් වෙනස්වීම හරහා උද්ධමනයට සිදුව ඇති දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා.

එහි දැක්වෙන්නේ පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී නිවාසල ජලය ගෑස් සහ අනෙකුත් ඉන්ධන සඳහා පැවැති උද්ධමන දායකත්වය 3.68% කින් එනම් රුපියල් 6,794 සත 18 කින් අඩු වී ඇති බවයි. එහෙත් නිවාස කුලිය ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ගවල උද්ධමන දායකත්වය සියයට 0.83%කින් එනම් රුපියල් 1, 544. 77 කින් අඩුවී ඇතත්, සහල් සඳහා වියදම රුපියල් 666. 66 කින්, පොල් සඳහා වියදම රුපියල් 1,537 .81 කින් සහ පොල්තෙල් සඳහා වියදම රුපිල් 297. 65 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහනයට අදාළ උද්ධමන දායකත්වය සියයට බිංදුවයි දශම පහකින් එනම් රුපියල් 925. 97කින් අඩු වී ඇති නමුත්, වාහන නඩත්තු වියදම පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේදී ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව එළි දැක්වූ 2025 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව අනුවල මෙම වසරේ ජනවාරි සමීක්ෂණ වාරයට අනුවල අපේක්ෂිත රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමග රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලු‍ම හේතුවෙන් ඉදිරි මාස 3 සිට දිගු කාල සීමා දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකියි.

එමෙන්ම වාහන ආනයනය නැවත ආරම්භ කිරීම හේතුවෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත වෙළෙඳ හිගය මෙම වසර සඳහා උපකල්පනය කළ ජංගම ගිනුමේ හිගයට හේතුවන බව ද එහි සඳහන්.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි සාමාන්‍ය අගය පසුගිය වසරට සාපේක්ෂව 2025දී අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද, එය 2026 වසරේදී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නියගය සහ ගංවතුර වැනි කාලගුණය ආශ්‍රිත අවහිරතා නැවත නැවත ඇතිවීමේ අවදානම හේතුවෙන් ගෝලීය ආහාර මිල ක්‍රමයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්.

මෙරට විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙළෙඳාම, ආයෝජන, ප්‍රග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය සහ උද්ධමනය යන අංශවල උච්චාවචන ඇතිවීමට එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවන බව මහ බැංකුව පවසනවා.

අමෙරිකාවේ ජනාධිපති ධුරයට යළි පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්ති වෙනස්කම් සමග, ආනයනික භාණ්ඩවල තීරුබදු වැඩිවීම් සහ ශ්‍රම වෙළෙඳපොළ දැඩිකළ හැකි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් එක්සත් ජනපද උද්ධමනය මත ඉහළ අවදානම් වැඩි වී තිබෙනවා.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යෑම සහ වෘත්තිකයින්ගේ සංක්‍රමණය වීම නිසා පලපුරුදු පිරිස් අහිමිවීමෙන් ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිගයක් ඇතිවීමෙන් ඵලදායිතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇති කිරීමට මෙන්ම සමස්ත ආර්ථික නිමැවුටම බාධා ඇති කළ හැකි බව ද මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන්.

එමෙන් සමස්ත වෙළෙඳපොළේ ණය පොලී අනුපාතික අඩු වුවද, කුඩා පරිමාණ ණය ගැතියන් සඳහා ලබා දී ඇති ණය සඳහා පොලී අනුපාතික අනෙකුත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික හා සැසඳීමේදී සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා.

මහ බැංකුව පවසන්නේ 2024 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකා ඩොලරයට සාපේක්ෂව 10. 75 කින් අතිප්‍රමාණය වී ඇති නමුත් මෙම වසරේ මුල් කාලයේදී එහි යම් විචලනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ඉකුත් ජනවාරි 28 වැනිදා රුපියල 2% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

source :- https://tinyurl.com/32dcjr8n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here