අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු දෙනාම මිය ගොස් ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ සනාථ කර තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර, එය ගුවන්තොටුපළට, ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී ඇමරිකානු හමුදා සෙබලුන් 3 දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානයේ ගැටී තිබුණා.

විදෙස් වාර්තා සදහන් කළේ ගුවන් යානා දෙකෙහි කලු පෙට්ටි මේ වන විට වැඩිදුර පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි.

මගී ගුවන් යානය රොනල්ඩ් රේගන් ගුවන්තොටුපලට ගොඩබැස්වීමට සුළු මොහොතකට පෙර අමෙරිකානු හමුදාවට අයත් බැක්හොක් හමුදා හෙළිකොප්ටර් යානයේ උඩුගුවනේදි ගැටී අනතුරට පත්වුණා.

200කට අධික පොලිස් කිමිදුම්කරුවන් සහ බෝට්ටු මගින් සිදුකළ මෙහෙයුම්වලදි මියගිය පිරිස 30 දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

යානයේ සුන්බුන් තවමත් පොටෝමැක් ගංගාවේ පවතින අතර පවතින අධික සීතල නිසා කිමිදුම්කරුවන්ට තවදුරටත් මෙහෙයුම් සිදුකිරීම අසීරුවී ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් ගංගාවේ කඩාවැටුණු යානාවේ සුන්බුන් ඉවත් කළ පසු මගීන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව අමෙරිකානු බලධාරින් ප්‍රකාශ කරනවා.

සිදුවු මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත්, මියගිය පවුල්වල සාමාජිකයින් හමුවීමට තමන් බලාපො‍රොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.

source :- https://tinyurl.com/mr3pf8b9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here