ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන් බොහෝමයක් සඳහා ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා පිරිනමනු ලබනවා.

මෙම ශිෂ්‍යත්ව 2025-2026 අධ්‍යයන වර්ෂ සඳහා වලංගු වෙනවා.

ඒ අනුව, මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන යෝජනා ක්‍රම වන්නේ:

01. නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය:

මෙම යෝජනා ක්‍රමය ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍ය, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ ක්ෂේත්‍රවල උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා ආවරණය කරයි.

02. මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය:

ඉංජිනේරු, විද්‍යාව සහ කෘෂිකර්මාන්තය සඳහා ශාස්ත්‍රපති උපාධි පාඨමාලා

03. රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය:

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා, ඉංජිනේරු උපාධි සහ තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලා

04. ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය:

ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ ක්ෂේත්‍රවල උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා

ඉහත යෝජනා ක්‍රම සඳහා පාඨමාලාව පුරාම සම්පූර්ණ උපකාරක ගාස්තු, මාසික ආහාර දීමනාව, පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදාන ආවරණය කරනවා.

ඊට අමතරව, ඉන්දියාවේ ළඟම ගමනාන්තයට ගුවන් ගමන් ගාස්තු සහ රටේ විවිධ ප්‍රදේශවලට අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදානයක්, තවත් සහායක ප්‍රතිලාභ කිහිපයක් ද පිරිනමනු ලබනවා.

තෝරාගත් අපේක්ෂකයින්ට අදාළ විශ්ව විද්‍යාල තුළ නේවාසික පහසුකම් ද ලබා දෙනු ඇති.

අපේක්ෂකයින් තෝරා ගැනීමට මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිදු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු www.mohe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

සුදුසුකම් නිර්ණායක සහ තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සහ ඔවුන්ගේ මාපියන්ට කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය (eduwing.colombo@mea.gov.in) හෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතීමට හැකියි.

source :- https://tinyurl.com/y4xda3b2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here