මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු ධීවරයින්ට සිදුවූ හානිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය පෙබරවාරි මස 05 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද (17) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති නිසා ඒ පිළිබඳ විභාගය පෙබරවාරි මස 05 වැනිදා දක්වා කල් තැබීමට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෑතකදී කොළඹ වරාය මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය සහ ධීවරයින්ගේ රැකියාවලට ඇති වූ බලපෑම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කතෝලික පියතුමන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මේ තුළින් අගතියට පත් ධීවරයින්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි අයකර දීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

source :- https://tinyurl.com/yc5sr33n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here