
‘මෙවර මද්‍යසාර සහ දුම්වැටි මිල වැඩි වීමේ වාසිය කාටද ?’ යන මැයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මගින් ඔවු සඳහන් කරන්නේ, 2023 වසරේ මද්‍යසාර බදු 20% කින් වැඩි වීම නිසා මද්‍යසාර පරිභෝජනය (ශුද්ධ මද්‍යසාර) ලීටර මිලියන 8.3 කින් අඩු වී රජයේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි වී ඇති බවයි. එමෙන්ම සිගරට් වලින් රජය ලබා ගන්නා සුරාබදු ආදායම බිලියන 7.7 කින් වැඩි වී සිගරට් අලෙවිය මිලියන 521.5 කින් අඩු වී ඇති බවයි.
තවද මද්‍යසාර මිල වැඩි වෙන සෑම විටම මද්‍යසාර සමාගම් විසින් නීති විරෝධී මද්‍යසාර වැඩි වන බවට මතයක් ගොඩ නැගීමට උත්සාහ දරයි. මෙම උත්සාහය, නීත්‍යානුකූල මද්‍යසාරවල බදු වැඩි වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන වල අලෙවිය පහත වැටෙන බැවින් අනාගතයේ සිදුවීමට ඇති බදු වැඩි කිරීම් වළක්වා ගැනීමට හා දැනටමත් ඇති සුරා බදු ප්‍රමාණයන් අඩු කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

සුරාබදු වැඩි කිරීමේදී එය විද්‍යාත්මක බදු ක්‍රමවේදයක් තුළින් සිදුවිය යුතු බවත්, 2009 වනතුරු සිගරට් සඳහා සුරාබදු අයකිරීමේදී සම්පූර්ණ වාසිය හෝ එහි වැඩි වාසියක් අත්පත් කර ගනු ලැබුවේ රජය බවයි එම නිවේදනයේ සදහන්.
2009ට පෙර සුරාබදු තීරණය කිරීමේදී වෙළඳපොළ, ඉල්ලුම, උද්ධමනය සහ මිල නම්‍යතාවය සලකා බලා උපරිම බදු වැඩි වීමක් සිදුකර ඇති බවත්, එම නිසා දුම්කොළ සමාගමට බදු මත මිලක් තබා ගැනීමේ අවස්ථාව අවම කර ඇති අතර, එමගින් රජයට ලබාගත හැකි උපරිම බදු ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, නිවැරදි බදු අයකිරීමේ ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත කර නොමැති නිසා මෙවර සිගරට් බදු වැඩි කිරීමෙන්ද සිගරට් කර්මාන්තය වාසිය අත්කර ගෙන ඇති බවත්, මෙම බදු වැඩි කිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාභය රුපියල් මිලියන 7000කට අධික බවත් එම නිවේදනයේ සඳහන්.
source :- https://tinyurl.com/5n7as8cp







