ඉන්දියාව සහ ප්‍රංශය මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 10කට වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන ආරක්ෂක ගිවිසුම් දෙකක් අවසන් කිරීම සඳහා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව රටවල් ද්විත්වය ඔවුන්ගේ හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා, ප්‍රවාහන නෞකා සඳහා Rafale-M වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 26ක් සහ අමතර Scorpene පන්තියේ සම්ප්‍රදායික සබ්මැරීන තුනක් මිලදී ගැනීම මෙම ගිවිසුම්වලට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනු ඉදිරි සතිවලදී ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බව ද සඳහන්.

ඒ අනුව ප්‍රංශයෙන් Rafale-M ජෙට් යානාවලට අමතරව තවත් Scorpene පන්තියේ සාම්ප්‍රදායික සබ්මැරීන තුනක් මිලදී ගැනීමට‍ත් ඉන්දියාව සූදානම්.

මෙම සබ්මැරීන විශේෂයෙන්ම වර්ධනය වන කලාපීය ආරක්ෂක ගැටළු මධ්‍යයේ සිය නාවික හමුදාවන් නවීකරණය කිරීමට ඉන්දියාවේ අඛණ්ඩ උත්සාහයේ අනිවාර්ය අංගයක් බවත් අදාළ මාධ්‍ය වාර්තා පවසනවා.

ගනුදෙනුව ශක්තිමත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යන බව සඳහන් කරන එම මාධ්‍ය වාර්තා පවසන්නේ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සත්කාරකත්වය දරන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුව සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේ දී පැරිසියට පැමිණීමට නියමිත බවයි.

එම සංචාරයේදී මෙම ජෙට් යානා ගනුදෙනු පිළිබඳ කටයුතු අවසන් වනු ඇති සේම AI සහ උසස් යුධ තාක්‍ෂණ ක්ෂේත්‍රයන්හි රටවල් දෙක අතර ආරක්ෂක සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීම අවධාරනය කරනු ඇතැයි ද පැවසෙනවා.

source :- https://tinyurl.com/yc87y5n6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here