මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් බලපත්‍ර නොමැතිව මෙරට තුළ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු රැකියාවල නිරත වන බවට එම කර්මාන්තවල නියැලෙන්නන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්වී ඇති අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් හැකි ඉක්මනින් පියවර ගත යුතු බවයි සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ.

සංචාරක කර්මාන්තය මෙරට ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් එක්කරන අතර මේ වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2කට ආසන්නයි.

ඉන් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 385,267ක්.

දෙවැනියට වැඩිම සංචාරකයින් ප්‍රමාණය වන 180,414 දෙනෙකු රුසියාවෙනුත්, තුන්වැනියට 166,999 දෙනෙකු එක්සත් රාජධානියෙනුත් මෙරටට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පැමිණෙන රුසියානු සංචාරකයින් අතරින් බොහෝ පිරිසක් ගාල්ල ඇතුළු ප්‍රදේශවල මේ වන විට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවල නිරතවන බවටයි සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් චෝදනා කරන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව සඳහන් කළේ, ඒ හේතුවෙන් සිය වෘත්තීන්ට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

මේ අතර, රැය පහන්වන තුරු අධික ශබ්දය පිටකරමින් විදෙස් සංචාරකයින් සහභාගී වූ සාදයක් හබරාදූව ප්‍රදේශයේදී පසුගිය දිනක පැවත්වා ඇති අතර, පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළත් ඔවුන් ඊට ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් සහ හෝටල්හිමියන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි ධීවර නියොජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සඳහන් කළේ.

source :- https://tinyurl.com/bdzdv8we

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here