රටේ මුල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්‌යාලයේ අද (12) පැවති සාකච්ඡාවක් අතරතුරයි.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙසත් ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

බැංකු මුල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු කර තිබෙනවා.

මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ,

ආර්ථිකය ස්ථායි වීමත් සමඟ වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණ ශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩ නැගීමත් සමග ඉදිරි මුල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

source :- https://tinyurl.com/4xp5t79h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here