මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් ඇපමත නිදහස් කිරීමට කටයුතු කර දෙන ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පුද්ගලයෙකු පසුගිය 01 වැනිදා දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් මුල්ලේරියා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ සොයා බැලීමේදී අදාළ ඇමතුම් ලබාදුන් පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නොවන බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, එම දුරකතන අංකය ඔස්සේ විමර්ශන සිදු කර පසුගිය 06 වැනිදා මුල්ලේරියාව පොලිස් වසමේ කැළණිමුල්ල ප්‍රදේශයේදී එම ඇමතුම ලබා දුන් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොහු පසුගිය නොවැම්බර් 26 වැනිදා දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක සිදු වූ මංකොල්ලයක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටත්, කොල්ලකන ලද රන් භාණ්ඩ විවිධ ප්‍රදේශවල උකස් කර ඇති බවටත්, අනාවරණය වී තිබෙනවා.

මෙම කොල්ලකෑමට අනුබල දුන් තවත් සැකකරුවෙකු ඉහත සැකකරු මාර්ගයෙන් ඊයේ (10) කැලණිමුල්ල ප්‍රදේශයට ගෙන්වාගෙනයි මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 53ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාල 03ක් උකස් කර තිබියදී සොයා ගෙන ඇති අතර, 2022 වසරේදී මුල්ලේරියාවේදී සිදු කළ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑමක්ද මෙම සැකකරු සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙ මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/mr3rjk9p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here