
පසුගිය කොවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් කොවිඩ් පරීක්‍ෂණ කරන ලෙස හා කොවිඩ් වෛරසය ආසාදනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවයක නිරත වුවා.
එම විරෝධතාවය මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර අනතුරුව රබර් උණ්ඩ යොදා කළහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තැබුවා.
එහිදී රැඳවියන් 11 දෙනෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ අතර, එම මරණ සම්බන්ධයෙන් නඩු කටයුතු පැවැත්වුණත් එම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නීතිපතිවරයා පසුගිය අගොස්තු 30 වැනිදා දැනුම් දී තිබෙනවා.

නීතීපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරගේ අත්සනින් යුතු ලිපියක් මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර, එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාටද යොමු කර තිබෙනවා.
සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිත්‍යනුකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන් පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බවත්, නීරීක්‍ෂණය කරන බව සඳහන් කරන නීතීපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවයි එම ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ
එහෙයින් මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවද එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීමේ සිද්ධිය අපරාධයක් බව වසර 03ක කාලයක් තිස්සේ පැවැත්වු පශ්චාත් මරණ පරීක්‍ෂණය අවසානයේදී තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන අපරාධයට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට වසර එකහමාරකට පෙර නියම කර තිබියදී නීතීපතිවරයා විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව කළ දීර්ඝ මහෙස්ත්‍රත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මරණකරුවන්ට වෙඩි වැඳී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබු බවක් පෙනෙන්නට නැතැයිද මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කළහාකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන්නේ යැයිද සඳහන් කර තිබුණා.
කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත්, ඒ අනුව කළහාකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබු බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වු කිසිඳු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි තැබු බවට සළකුණු නොමැති බවට තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවු තුවාල හේතූවෙන් බවද මහෙස්ත්‍රත් පරීක්‍ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ එම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියම කර තිබුණා.
source :- https://tinyurl.com/yckbv8h9







