
ජා ඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14) තියුණු ආයුධයකින් පහරදී රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව ජා ඇල පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක් වූ ඒකල, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු ආහාර පාර්සලයක් රැගෙන ඒමට මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී යතුරු පැදිකරු සමඟ බහින් බස් වීමේදී මරණකරු විසින් යතුරු පැදිකරුට ගලකින් පහරදී තිබෙනවා.

එහිදී එම ගල අසල තිබූ වෙළඳසැලක දොරේ වැදී අලාභ සිදුව ඇති අතර, පසුව වෙළඳසැලේ හිමිකරු සහ තවත් කිහිප දෙනෙකු පැමිණ මරණකරු සමග බහින් බස් වීමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම අවස්ථාවේ වෙළඳසැලේ සිට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබෙනවා.
මරණකරු බේරා ගැනීමට පැමිණි තිදෙනෙකු ද එහිදී තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/5fwppabx







