
ඉන්දියාව කැනඩාව වෙත රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් එල්ල කර තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය ඉන්දියාව සම්බන්ධයෙන් සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් තම රට තුළ සිදුකරන පරීක්ෂණයකට සම්බන්ධ කරමින් කැනඩාව එල්ල කරන චෝදනා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර එය “ටෲඩෝ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයක්” ලෙස ඉන්දියාව විසින් හඳුන්වනු ලබනවා.

ඉන්දියාව ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වන ඛාලිස්තාන් ක්‍රියාකාරී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියානු නියෝජිතයින් සම්බන්ධ බව අගමැති ජස්ටින් ටෘඩෝ පසුගිය වසරේ ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දු-කැනඩා සබඳතා පළුදු වුණා.
ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය රජය කියා සිටියේ කැනඩාව ඉන්දියාව සමඟ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි බෙදාගෙන නොමැති බවත් චෝදනා ටෘඩෝ රජයේ ක්‍රියාකලාපය දේශපාලනය වටා කේන්ද්‍රගත වූ බවයි.
එවන් පසුබිමක් තුළ ඉන්දියාව කැනඩාවට විරෝධය පළ කිරීමක් ලෙස සිය රටේ සිටි කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 06 දෙනෙකු නෙරපා හැර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ එරට සිටින කැනඩාවේ වැඩබලන මහ කොමසාරිස් ස්ටුවර්ට් වීලර් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් පැට්‍රික් හෙබට් ඇතුළු තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් හතර දෙනෙකු ඇතුළු කැනේඩියානු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු නෙරපා හරින බවයි.
ඔවුන්ට 2024 ඔක්තෝබර් 19 සෙනසුරාදා රාත්‍රී 11:59ට පෙර හෝ ඊට පෙර ඉන්දියාවෙන් පිටවන ලෙස දැනුම් දුන් බව ද නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රාජකීය කැනේඩියානු පොලිස් කොමසාරිස් මයික් ඩූහේම් මෙසේ සඳහන් කරනවා.
”ඉන්දීය රජයේ නියෝජිතයන් විසින් සංවිධාන කරන ලද අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් කැනේඩියානුවන්ගේ සහ කැනඩාවේ වෙසෙන පුද්ගලයින්ගේ ආරක්ෂාවට තර්ජන එල්ලවන බවට අපගේ කණ්ඩායමට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම කැනඩාව පදනම් කරගත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ කොන්සියුලර් නිලධාරීන් සෘජුව හෝ ස්වේච්ඡාවෙන් හෝ බලහත්කාරයෙන් ඔවුන්ගේ නියෝජිතයින් සහ වෙනත් පුද්ගලයින් හරහා ඉන්දීය රජයට තොරතුරු රැස් කිරීම වැනි රහසිගත ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා ඔවුන්ගේ නිල තත්ත්වය උපයෝගී කරගත් බවට ද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.”
source :- https://tinyurl.com/4x8kb8su








