
ඉඩම් ආරවුලක් මත වවුනියාව ඕමන්තේ පූවරසන්කුලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව කඩුවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මාමා කෙනෙකු හා බෑනා කෙනෙකු ඔවුන්ට අයත් බව කියන ඉඩමක් එළි පෙහෙලි කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි තවත් පවුලක පිරිසක් ඉඩමේ අයිතිය ඔවුන්ගේ බව ප්‍රකාශ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර අවට ජනතාව එම තත්ත්වය මග හරවා ඉඩමට අයිතිවාසිකම් කී දෙපිරිසම එම ස්ථානයෙන් ඉවත් කොට තිබෙනවා.

ස්වල්ප වේලාවකින් දෙවනුව ඉඩමට අයිතිවාසිකම් කී පිරිස තවත් කීප දෙනෙකු සමග පැමිණ මාමාට හා බෑනාට මිරිස් කුඩු ඉස කඩු වලින් කපා කොටා පහර දෙන්නට පටන් ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
මේ සිද්ධියෙන් මාමා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල ලෙස තුවාල ලැබූ බෑනාව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.
මෙම ඝාතනයන් සම්බන්ධයෙන් මේ වන විට ඕමන්ත පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.
source :- https://tinyurl.com/4du8p4x8







