
ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6කට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 5ක හා තැරැව්කාර සමාගම් 8ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රහස් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.
අදාළ පොහොර සමාගම්වල හා තරැව්කාර ආයතන සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය අපාරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ රුපියල් 1,100ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පොහොර සමාගම් විසින් රුපියල් 2,500ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇතැයි ප්‍රකාශ කළා.
එම පොහොර තොග පොහොර සමාගම් 5ක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3,500 බැගින් අලෙවි කර ඇතැයිද එම පෙහොර තොග ජනතාවට රුපියල් 1,100ක සහන මිලට ලබා දුන් බවට අඟවා තමන්ට පාඩු වූ රුපියල් 1,400ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇතැයිද කී උප පොලිස් පරීක්ෂකවරයා රජයට වංචා කිරීම සහ අයුතු ලාබ ලැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද සඳහන් කළා.
source :- https://tinyurl.com/ycxm5z2y







