අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවත්, ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිනවා.

නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම තුළින් පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට මුහුණපා සිටින වග උත්තරකරුවන් රටින් බැහැරවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

යම් හෙයකින් වග උත්තරකරුවන් රටින් බැහැර වුවහොත් මෙම නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවිය හැකි එබැවින් ඔවුන්ට එරෙහිව විදේශගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

source :- https://tinyurl.com/4bx4rzzf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here