මිතුරන් සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු බෝතලයක් පාසලට රැගෙන ආ බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු එම කසිප්පු බෝතලයද සමග ඊයේ (01) තිස්සමහාරාම පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සිසුවා පෙරේදා ඔහුගේ පන්තියේම ඉගෙනුම ලබන සම වයසේ පසුවන සිසුන් දෙදෙනෙකුට තමා ළමා දිනය සැමරීම සඳහා කසිප්පු ගෙන එන බවත්, ඒ සඳහා අවශ්‍ය බයිට් මිලදී ගැනීම සඳහා මුදල් රැගෙන එන ලෙස දැනුම් දී ඇති බවත්, තිස්සමහාරාම පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, ළමා දිනයට පෙර දින සවස් කාලයේ බෝතලයක කසිප්පු බාගයක් දමාගෙන පාසල් වත්තට හොර රහසේ රිංගා එම බෝතලය පාසල් වත්තේ වළක් හාරා වළ දැමූ බව සිසුවා විදුහල්පතිවරයා සමග හෙළිකර ඇතැයි පැවසේ.

පසුව තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරිනියක් එම විදුහලට ගොස් මෙම සිසුවා සහ කසිප්පු බෝතලය මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිසුවා පවසා ඇත්තේ, ලෝක ළමා දිනය වෙනුවෙන් පන්තියේ මිතුරන් කිහිප දෙනෙකු සමග එක්වී මත්පැන් සාදයක් පැවැත්වීම සඳහා පාසලට කසිප්පු රැගෙන ආ බවයි.

එමෙන්ම ඔහුගේ බාප්පා කසිප්පු පානය කරන අයෙකු බවත්, ඔහුගෙන් සොරා ගෙන මෙසේ පාසලට ගෙනා බවත්, ඔහු පවසා තිබෙනවා.

සිසුවා හෙළි කළ තොරතුරු අනුව පසුව ඔහුගේ 19 හැවිරිදි බාප්පාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/2pw9krck

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here