මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඊට අමතරව තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව සභාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

“මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබිලා නැති ඡන්ද දායකයෝ ඉන්නවානම් තවදුරටත් තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගැනීමට හැකියාව තියෙනවා. අවශ්‍යනම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එහි පිටපතක් ලබාගැනීමට හැකියාව තියෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රය ඡන්දය දැමීම සඳහා අනිවාර්ය නැහැ. ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබෙනම් එය ඉදිරිපත්කරලා ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය ප්‍රකාශකරන්න හැකියාව තියෙනවා.”

ඔහු තවදුරටත් පැවසුවේ ඡන්දය දැමීම සඳහා පැමිණෙන අවස්ථාවේදී ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

“පොලිස් නිලධාරීන් තේරුම්භාර නිලධාරීන්ගේ අවසරය ඇති වෙනත් පුද්ගලයින්, හැර වෙනත් කිසිවෙකුට ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීම නීතියෙන් අවසරයක් නැහැ. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම්. ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම මෙන්ම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණීම… මේ සියල්ලම තහනම්.”          

මේ අතර එක් දේශපාලන පක්ෂ විසින් ඡන්ද කොට්ඨාස මට්ටිමින් පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල අද (19) මධ්‍යම රාත්‍රිය වන විට ඉවත් කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේය.

source :- https://tinyurl.com/mvv37ynp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here