පාකිස්තානය ඇතුළු විදෙස් රටවල පුද්ගලයන්ට දකුණු අප්‍රිකාවේ ව්‍යාපාර කටයුතු කිරීමේ අවස්ථාව සලසමින් කාන්තාවන් මුදලට ව්‍යාජ ලෙස විවාහ කරදීමේ ජාවාරමක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හෙළි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ නැඟෙනහිරින් පිහිටි ලිම්පොපෝ ප්‍රාන්තයේ දිළිඳු කාන්තාවන් මේ සඳහා බහුලව භාවිත කර ඇති බවත් , එවැනි ව්‍යාජ විවාහයක් වෙනුවෙන් එම කාන්තාවකට මාසිකව දකුණු අප්‍රිකානු මුදලින් රාන්ඩ් 300ක් ගෙවන බවට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බවත් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

එම ජාවාරම බලධාරීන්ට හෙළිකර ඇත්තේ ඊට ගොදුරු වූ ලිම්පොපෝ ප්‍රාන්තයේ තරුණියක් බව ද වාර්තා වනවා.

රිබෝනි ෂබීර් නමැති එම තරුණිය පසුගියදා එක්තරා තැරැව්කාරිනියක් සහ පාකිස්තාන ජාතිකයකු සමඟ ජොහැනස්බර්ග් නුවර පිහිටි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ගොස් ඇති අතර, දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වී සිටින බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර පාකිස්තාන ජාතිකයාට එරට රැඳී සිටීමට අවශ්‍ය වීසා බලපත්‍ර සකස් කර ගෙන තිබෙනවා.

එම ව්‍යාජ විවාහයෙන් පසු මාස දෙකක් ගතවනතුරු අදාළ කාන්තාවට රාන්ඩ් 300 බැගින් මුදල් ලැබී තිබුණද, පසුව මුදල් නොගෙවා එම තැරැව්කාරිනිය සහ පාකිස්තාන ජාතිකයා අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ පිළිබඳ පැමිණිලි කිරිමට එම තරුණිය නැවත අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ගොස් ඇති අතර. එහිදී බලධාරීන් ඇගේ විවාහ සහතිකය ඉල්ලා සිටි බවත්, එවැනි සහතිකයක් ඇය සතුව නොතිබූ බවත් හෙළිවීමෙන් පසු ව්‍යාජ විවාහ ජාවාරමේ තොරතුරු හෙළි කරගැනීමට බලධාරීන් සමත් වී ඇතැයි වාර්තා වනවා.

source :- https://shorturl.at/XD16Z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here