ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ බහරයිච් ප්‍රදේශයේදී වෘකයන් පහරදීම හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ දී තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පහරදීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම එම වෘකයන් පසුගියදා නව හැවිරිදි පිරිමි ළමයෙකුට ද පහර දුන් බවයි බලධාරීන් පවසන්නේ.

මෙම වෘක රැළ විසින් මීට පෙර කිහිප දෙනෙකු මරා දමා ඇති අතර, මෙම ඝාතන රැල්ල නැවැත්වීම සඳහා මෙහෙයුමක් දියත් කළ බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් සඳහන් කරන්නේ.

ඒ අනුව, පසුගිය මාස දෙකක කාලය තුළ බහරයිච් ප්‍රදේශයේදී වෘකයන්ගේ ප්‍රහාරවලින් ළමුන් හත් දෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බව බලධාරීන් පවසනවා.

වෘකයන් හතර දෙනෙකු අල්ලාගෙන ඇති අතර, දෙදෙනෙකු තවමත් නිදැල්ලේ සිටින බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම බලධාරීන් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඉතිරි වෘකයන් පිළිබඳව නිරීක්ෂණය කරන බව සඳහන්.

බලධාරීන් අඛණ්ඩ මුර සංචාරයේ යෙදී සිටින අතර, හැකි ඉක්මනින් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අතර බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එළිමහන් ප්‍රදේශයේ නොනිදා ගෙතුළ නිදා ගන්නා ලෙසයි.

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ, මීට පෙර වෘකයන්ගේ ප්‍රහාරයට ලක්වූවන් එළිමහනේ නිදාගෙන සිටි අය බවත්, සතුන් ඔවුන්ගේ පුරුදු වෙනස් නොකරන නමුත් ජනතාවට කල්පනාකාරී විය හැකි බවයි.

source :- https://shorturl.at/YBU8F

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here