
තණමල්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් United Human Rights Organization විධායික අධ්‍යක්ෂිකා ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය අනාවරණ කළා.
ඒ, පෞද්ගලික YouTube නාලිකවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එහි දී ඇය කියා සිටියේ, අදාළ දැරිය 2022 වසරේ ඇයගේ පෙම්වතා බව කියන සිසුවෙක් අතින් දූෂණයට ලක් වූ බවයි.

එය වීඩියෝ කර එය පෙන්වා බිය ගන්වා අවස්ථා 06ක දී පාසලේ සිසුන් 21 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර ඇති බව ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය අනාවරණ කළා.
ඇතැම් අවස්ථාවේ දී අදාළ සිසුවියට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවයි ඇය කියා සිටියේ.
මෙම සිසුන් අතර පාසලේ ගුරුවරියකගේ පුත්‍රයෙක් සහ ටියුෂන් ගුරුවරියකගේ පුතෙකු ද සිටින බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුයෙකුට සැල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති බවත් ඊට විනය කමිටුවේ තෝරාගත් ගුරුවරුන් පිරිසක් පමණක් සම්බන්ධ කරගෙන ඇති බවත් ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය කියා සිටියා.
ඉන් අනතුරුව එම සිසුවියව මොනරාගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කර ඇති බව ද සඳහන්.
මේ සියල්ල පාසලේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීමට සිදු කර ඇති බවයි, ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය කියා සිටියේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ද සිසුවිය බලපෑම් සිදු කර ඇති බවත් ඒ හේතුවෙන් ඇය සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවත් අධ්‍යක්වරියා අනාවරණ කළා.
මේ අතර වින්දිත සිසුවියගේ මව ද මේ සම්බන්ධයෙන් මව්බිම ජාතික පුවත්පත වෙත අදහස් පළ කර තිබුණේ, මෙලෙසින්.
උපුටාගැනීම.
“මගේ දරුවව මානසික පීඩනයකට ලක් කරලා සිසුන් පිරිසක් විසින් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ සිදුවීම පිළිබඳව අනාවරණය වුණාට පසු අපි මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා පසුගිය 10 වැනිදා. ඒ අනුව තණමල්විල පොලිසිය මඟින් මගේ දරුවා පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව 11 වැනි දින හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දරුවාව පරීක්ෂා කිරීමට මත්තෙන් දරුවාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සිදුකළා.
එහිදී වෙච්ච සිදුවීම දරුවා කියනකොටම අධිකරණ වෛද්‍යවරයා “තමුසේ කියන්නේ බොරු තමුසේ අර අහිංසක කොල්ලන්ව හිර කරන්න නේද හදන්නේ” කියලා එක සැරේම ළමයගේ ඇඟට කඩාගෙන පැන්නා. ළමයා බයවෙලා ඉන්නකොට අධිකරණ වෛද්‍යවරයා දරුවා මට එළියට දුන්නා ටික වෙලාවක් තියාගෙන ඉඳලා කටඋත්තරය දෙන්න එක්ක එන්න කියලා. ඒ වෙලාවේ දරුවා අඬමින් කිව්වා “අම්මේ මම මෙතැනින් අරගෙන යන්න” කියලා. මම දරුවට කිව්වා මේක ඉවර වෙලා යමු ඉන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයාගෙන් දරුවට ඇතිවෙච්ච පීඩනය ඉවසා ගන්න බැරුව රෝහලේ ඉහළ මාලයේ ජනේලයෙන් දරුවා පනින්න හැදුවා. මම අල්ලගත්තේ නැත්නම් දරුවා ඉවරයි.
ටික වෙලාවකට පස්සේ වෛද්‍යවරයා දුව ආයේ කාමරයට කැඳවලා කටඋත්තරය ලියන්න ගියා. දරුවා අඬමින් යළි වෛද්‍යවරයාට වෙච්ච සිද්ධිය කියනකොට අධිකරණ වෛද්‍යවරයා ආයේ දරුවට බැන්නා “තමුසෙගේ ඔය බොරු කඳුළු හලන්න එපා. මෙතැන කිසි දෙයක් වෙලා නෑ. තමුසේ බොරු කියන්නේ කියලා.” බැරිම තැන මම වෛද්‍යවරයාට කිව්වා ඔහොම බනින්න එපා. දරුවට වෙච්ච දේ කියන්න දෙන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයා මටත් අත ඉස්සුවා ගහන්න. හැබැයි ගැහුවේ නෑ.
ඊට පස්සේ වෛද්‍යවරයා “ඉන්නවකෝ මං තමුසෙලා දෙන්නට හොඳ වැඩක් කරන්න. තමුසේ අද මොනවා කිව්වත් උසාවියේදී මේ නඩුව කැඩෙනවා. තමුසෙට ගෙදර යන්න ටිකට් කපන්න දෙන්නේ නෑ. තමුසේ ඔහොමම පරිවාසෙට දමනවා. තමුසේ අර ඔලිම්පික් තේරිච්ච වැදගත් ළමයකුත් මේකට පටලවාගෙන. ඒ ළමයගේ මවුපියන් වැදගත් මිනිස්සු” කිය කියා හොඳටම ෙදාස් කිව්වා. අන්තිමේ මමත් දරුවත් හොඳටම අසරණ වුණා. කරකියා ගන්න දෙයක් නැති වුණා අපිට. අවසානේදී අධිකරණ වෛද්‍යවරයාට ඕනි විදියට කට උත්තරය ලිව්වා.
පසුව මම මේ වෛද්‍යවරයාගේ කුරිරු ක්‍රියාකලාපය හා අශීලාචාර හැසිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරියටත්, හම්බන්තොට පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උගත් වෛද්‍යවරයකු ලෙස දරුවකුට කතා කරන්න දන්නේ නැති එක ගැන පුදුම කනගාටුවක් තියෙන්නේ. අපි වගේ තව කොච්චර නම් අසරණ මිනිස්සු මේ විදිහට මේ වෛද්‍යවරයාගෙන් අපහසුතාවට පත්වෙනවා ඇතිද. ඒ වගේම මේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාදුන් තීන්දුවත් අපිට පිළිගන්න බැහැ. එම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් හා දරුවව මානසික පීඩාවට පත්කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර ගනීවි කියලා විශ්වාස කරනවා”








