සජිත අනුත්තර ඇන්තනී කියන්නේ අද වෙද්දි අපේ රටේ ලොකු, කුඩා කොයි කවුරුත් දන්න චරිතයක්. ඒ සඳහා ඔහු මහා රංගධර ජැක්සන් ඇන්තනීගේ බාල පුතනුවන් වීම මෙන්ම ඔහු සතුව පවතින රංග ප්‍රතිභාවද හේතු වෙලා තියෙනවා.
ඔහු පසුගියදා විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා තිබුණා. ඒ ඔහුගේ පියා නමින් නම් කරපු රංග පීඨයක් විවෘත කරන්න අවස්ථාව ලැබිලා.ඉතින් ඒ ගැන ඔහු සටහනක් තබා තිබුණේ මෙහෙමයි.

අප්පච්චී නමින් විවෘත වූ රංග පීඨය
“ජැක්සන් ඇන්තනී එළිමහන් රංග පීඨය”
2024 අගෝස්තු 9 වන දින, පො/ඳිඹු වෙහෙරගල මහා විද්‍යාලයේදී ‘ජැක්සන් ඇන්තනී එළිමහන් රංගපීඨය’ විවෘත විය.
මෙම කාර්යය වෙහෙරගල විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයා වන කසුන් සංජීවගේ සංකල්පයක් මත සිදුකළෙකි. මෙම සංකල්පය සැබෑවක් කරගැනීමට විදුහල්පති චන්ද්‍රසිරි රණසිංහ මහතා ප්‍රමුඛ තවත් විශාල පිරිසක් මහන්සි වී තිබුණා.
කසුන් සංජීව නොහොත් ‘වෙහෙරා’,
සිව් වසරක් මා සමඟ කැම්පස් ජීවිතය බෙදාගත් මගේම සහෝදරයෙකි.
අද දින මල්ඵල ලබාගත්තේ, මීට කලින් වෙහෙරා මට දුන් පොරොන්දුවක්ය.
එදා මම පොරොන්දු වූ පරිදිම එළිමහන් රංගපීඨය මගේ අප්පච්චීට ගෞරවයෙන් මගේ අතින් විවෘත කළෙමි.
අදට අප්පච්චී දිවි රඟමඩලෙන් බැස , සුවහසක් ලොකු කුඩා ආදරණීයන්ගේ මතක රඟහලට ගොඩ වැදී හරියටම දස මාසයකි.
ජැක්සන් ඇන්තනී නම් මහා කලා පෞරුෂය බිහි වුණේත්, පෝෂණය වුණේත්, අභිශේක කරනු ලැබූවේත් ගෙමිදුලේ සාරි එල්ලා හදාගත් ගෘහස්ථ ඇරීනාවේ සිට සරත්චන්ද්‍ර එළිමහන් රංගපීඨය දක්වා වූ සකලවිධ ශ්‍රී ලාංකේය නාට්‍ය රංගශාලාවන් නම් වූ ශාලිකාවන්හී ය.
එතුමන් හිටියානම් ග්‍රීසියේ ඇතෑන්ස් සිට වෙහෙරගලට දැනුම් පාලමක් ගොඩනගා , හෙට සිට “ජැක්සන් ඇන්තනී එළිමහන් රගහලෙන්” කල එළි බසින යුවජයින්ට
ආසිරි පතනු ඇත.
එතුමන් ගේ ගුණ සුවද විසින් එය දැනුත් , මත්තටත් සිදු කරනු ඇති කියා මා තරයේ විශ්වාසකරමි.
අපේ ප්‍රාර්ථනාව වන්නේ එතුමන්ගේ නමින් ඉදි වුනු මේ රංග භූමියේ ලබන්නවූ පුහුණුවෙන් හෙට දවසේ මේ බිම මත තවත් ජැක්සන් ඇන්තනීලා දස දහස් ගණනින් බිහි වේවා යන්නයි.
ජැක්සන් ඇන්තනී රංග පෞරුෂයේ මතක අතරින් අපි ඒ අනාගතයට හදවතින්ම සුබ පතන්නෙමු.
මගේ අප්පච්චීගේ යුග මෙහෙවර අගයන කෘතවේදී ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා!
ජැක්සන් ඇන්තනී මතක ස්මාරකයක් ගොඩ නැගූ ඔබ සැමට දිරි වැඩේවා!
ඉදින් සකල කලා සක්විති අපතරින් සමුගෙන දසකඩ මසක් ගෙවුනු තැන එතුමන් ස්මරණය වන පිණිස මේ පුංචි පාසලේ විශාල හදවත් ඇත්තන් ඉටු කෙරූ මේ “ජාතික කාර්‍යය” හේතුවෙන් ආඩම්බරයෙන් හා ආදරයෙන් හදවත පිරී ඇත. මේ හැඟීම ප්‍රකාශ කිරීමට වචන පොහොසත් නැහැ. ඔබ සැමට බොහෝ පිං!
“කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත.
සියල්ල සැමවිටම සිදුවෙමින් පවතින්නේය.
ඒ ජැක්සන් ඇන්තනී – මගේ අප්පච්චී විසින් නිතර සිහි ගැන්වූ උදාන වැකියකි.
එයින්ම ඔබ සැමට තුති පුදමි.
සජිත අනුත්තර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here