මෙම වසරේ ගතවූ පළමු දින 28 ඇතුළත පාකිස්ථානයේ කරච්චි නුවරින් වාර්තා වන මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2025 ජනවාරි 1 සිට 28 දක්වා කරච්චි නුවර සිදුවූ වෙඩි තැබීම්වලින් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයි 42 දෙනෙකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව, මෙම සිදුවීම්වලින් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එරට පොලිස් බලධාරීන් පවසන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම සිදුවීම්වල දී නගරයේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් සිද්ධීන් වාර්තා වී ඇති අතර, කොල්ලකෑම්වලට එරෙහි වීමේ දී පුද්ගලයන් පස් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවත් සඳහන්.

එමෙන්ම අතපසුවිම්වලින් එල්ල වූ උණ්ඩවලට හෝ ගුවන් වෙඩි තැබීම්වලට පුද්ගලයන් ගොදුරු වූ සිද්ධීන් ද වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත අහිමි වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පවසනවා.

වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුගේ අනන්‍යතාව තවමත් හඳුනාගෙන නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

පුද්ගලික එදිරිවාදිකම්, ආරවුල්, මංකොල්ලකෑම්වලට ඇති ප්‍රතිරෝධය ඇතුළු විවිධ සාධක මෙම වෙඩි තැබීම්වලට හේතු වූ බවයි පොලිස් බලධාරින් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/pnxwpr6e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here