ඉදිරියේදී යළිත් සහල් ආනයනය කරන්නේ නම් එකවර විශාල ප්‍රමාණයක් ආනයනය නොකර කොටස් වශයෙන් ආනයනය කිරීමට රජය පියවර ගත යුතු බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, එමගින් පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් නොදැනෙන ආකාරයෙන් සහල් පිළිබඳ ගැටලු‍ව විසඳාගත හැකි වනු ඇති බවයි.

මේ අතර මහ කන්නයේ වී අස්වනු නෙළීම දිස්ත්‍රික්ක රැසක ආරම්භ වුවත් තවමත් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත්කර නොමැති අතර වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ද මෙතෙක් ආරම්භ වී නැහැ.

රජයෙන් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති පසුබිමක සිය අස්වැන්න අඩු මුදලකට පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කිරීමටයි උතුරු මැද පළාතේ ගොවීන්ට සිදුව ඇත්තේ.

වී මිල දී ගැනීමට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් පළ කරන්නේ දැඩි අප්‍රසාදයක්.

එමෙන්ම, මහ කන්නය ආරම්භයේදීම ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වි වගාවන් සදහා දැඩි බලපෑමක් එල්ල වුණා.

අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරන්ඩිකුලම් ප්‍රදේශයේ ද ජලගැලීම් නිසා අස්වනුවලට හානි සිදුව ඇති බවයි ගොවීන් පවසන්නේ.

සේනානායක සමුද්‍රයේ වාන් දොරටු පහ තවදුරටත් අඩි තුන හමාර බැගින් තවමත් විවෘත කර ඇති අතර ඉන් ගල්ඔයට විශාල ජල ධාරිතාවක් නිකුත් කෙරෙනවා.

ඒ හේතුවෙන් ගල්ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, නෙයිනකාඩුවේ ඉවුරු බිඳී ගිය ස්ථානයෙන් හා පල්ලකාඩුවේ ඉවුරු බිඳී ගිය ස්ථානයෙන් පිටවන ජලය නිසා කුඹුරු අක්කර 500කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර මඩකලපුවේ කෙත් බිම් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙනේනේ මේ හේතුවෙන් මඩකලපුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ගොවි බිම් විනාශ වී ඇති බවයි.

වර්ෂාවත් සමග හටගත් ජල ගැලීම්වලින් ප්‍රදේශ රැසක කුඹුරු රැසක් මෙලෙස විනාශ වී ඇති අතර, වී වගා කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 50,000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වනවා.

මහ කන්නය පුරා ඇති වූ වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් වී වගා කළ හෙක්ටයාර 80,000කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී තිබෙන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/3vhywwu3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here