මෙරට අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 04 දෙනෙකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සහ තවත් රටවල් 03කදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ. ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ නම් හෙළි නොකිරිමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මෙරට අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී විදෙස් රටවලට පළාගොස් සිටින අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, ඇප මත මුදාහැර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුෂංඛ හෙවත් ”‍පොඩි ලැසී”‍ නැමැත්තා ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත්තේ මෙවන් පසුබිමකයි.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළදී දිවයින පුරා සිදුවූ වෙඩිතැබීම් 08 න් 06 ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදු වී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

සිදු වූ එම වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ආසන්නතම සිදුවීම ඊයේ ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එහිදී 24 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ගල්කිස්ස – සිරිපාල මාවතේ අවන්හලක් අසළ මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් එක් සැකකරුවෙකු ගිනි අවිය ද සමඟ දෙහිවල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. යතුරු පැදිය අත්තිඩිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය ඊයේ සොයා ගත්තා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සවිදු තරූෂ යන 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු දැනට ඩුබායිහි සැගව සිටින අපරාධ කල්ලි සාමාජික කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ අපරාධ කල්ලි නායක බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් බවටද පොලිසිය සැක පළ කරනවා.

මේ අතර, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඉන් එක් අයෙකු දැනට යුද හමුදාවේ සේවයේ නිරතවන පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවයි.

source :- https://tinyurl.com/4jbwte6y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here