
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අතිඋත්තම ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ජාතියේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” ප්රදානය කර තිබෙනවා.
ධවල මන්දිරය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප් වහන්සේ දැක්වූ සහය අගය කරමිනුයි මෙසේ ගෞරව ප්‍රදානයක් උන්වහස්සේට ලබා දී ඇත්තේ.
විදෙස් වාර්තාවලට අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අමතර ගෞරවයක් ලබා ගත් පළමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වන අතර මෙම පදක්කම ලැබූ තුන්වන පාප් වහන්සේද වනවා.

කෙසේ වෙතත් මෙම සති අන්තයේදී අමෙරිකානු ජනාධිපතිවරයා වතිකානුවේ සංචාරයක නියැලීමට නියමිතව සිටි බවත් එය කැලිෆෝනියාවේ පවතින ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට අමතරව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, මයිකල් ජේ. ෆොක්ස්, ඩෙන්සල් වොෂින්ටන්, ආර්ජන්ටිනාවේ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී, සංරක්ෂණවාදි ජේන් ගුඩාල් සහ ”බිල් නයි ද සයන්ස් ගයි” ලෙස හදුන්වන විලියම් සැන්ෆර්ඩ් නයි ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකුට ද ජෝ බයිඩ්න් විසින් මෙම නිදහසේ පදක්කම ප්රදානය කර ඇති බව ද සදහන්.








