
දිවැස් ප්රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සහය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
රාගම තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.
රාගම – තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කළ මීසම් ගෘහය විවෘත කෙරුණේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළා.
”දිවැස් ප්‍රසාදි කෙනෙක් කියලා තමන්ට නමක් දාගන්න බැහැ කාටවත්. දෙවියන් වහන්සේ තෝරාගන්නා තැනැත්තාට තමයි දිවැස් ප්‍රසාදි ධුරය දෙන්නේ. අද අපේ සමාජයේ සමහර අය කියනවා ඒ ගොල්ලෝ දිවැස් ප්රසාදිවරු කියලා. ඒ තමන්ම දිවැස් ප්රසාදිවරුයි කියාගන්නා අය අද මිනිසුන් මුලා කිරීමේ ව්‍යාපෘතියකට ගොදුරු වෙලා තියෙනවා. මේ මනුස්සයා ඒ කරගෙන යන වැඩපිළිවෙළට අහුවෙලා තියෙන්නේ සමාජයේ පොහොසත් අය, කෙරුම්කාරයෝ. ඉතින් මේ ඔක්කොමලාගෙන්ම මුදල් අරගෙන ඒ මනුස්සයා ලොකු ජාවාරමක නිරතවෙලා ඉන්නවා.
දෙවියන් වහන්සේ ජැක්පොට් මැෂින් එකක් නෙවෙයිනේ. මේ සල්ලිකාරයෝ දුවගෙන යනවා මේ වගේ දවැස් ප්‍රසාදිවරුන් ගාවට තියෙන සල්ලි මදිවට තවත් සල්ලි හොයාගෙන. ඒ ගොල්ලෝ හිතනවා සල්ලි මැෂින්වලින් දෙනවා කියලා මේ මනුස්සයා. ඒ විතරක් නෙවෙයි, අපේ අන්‍යාගමික සහෝදර සහෝදරියන්ට අපහාස කිරීමේ කටයුත්තක යෙදී සිටිනවා. ඔවුන්ගේ ධර්මයට නිගා කිරීමේ කටයුත්තක යෙදී සිටිනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කෙනෙකුව අන්දවාගෙන ගෙනල්ලා, එයාව සුව කරනවා කියලා පෙන්නලා, බෞද්ධයින්ගේ සිත පාරන්නට මේ තැනැත්තා කරලා තියෙනවා මේ වැඩේ. ආගම් අතර ඝට්ටනයක් ඇති කිරීමේ ඉලක්කයේ සේවකයෙක් බවට ඔහු පත්වෙලා තියෙනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේ අන්තිමටම කරපු දේ ඔවුන්ගේ සිත පාරන කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ ක්‍රියාදාමය අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ශ්‍රී ලංකාව තුළ ආගම පදනම් කරගෙන සමාජය භේද බින්න කරන්නට මේ තැනැත්තා දරන උත්සහය අපිට කොහොමත් පිළිගන්නට බැහැ. අන්‍යන්ව රවට්ටලා මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරවලට ස්වාමීන් වහන්සේ පටලවාගෙන ධනය ඉපැයීමේ ව්‍යාපාරයක් ඇතිකරගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින මේ මනුෂ්‍යයා ගැන අපි ඇත්තෙන්ම කණගාටු වෙනවා.
ඒ නිසා අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා අපේ බෞද්ධ සහෝදරයින්ට යම්කිසි සිත් පෑරීමක් වුණා නම්, මේ සම්බන්ධව අපේ කණගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. යම් යම් ජාත්‍යන්තර සංවිධානවල රටවල්වල අතකොළු බවට පත්වෙනවා මේ ගොල්ලෝ. ඒ නිසා මෙය වැළැක්වීමට රජය කටයුතු කළ යුතුයි. මෙවැනි දේ කරන්නන්ට අනුග්‍රහ නොදැක්විය යුතුයි.”
source :- https://tinyurl.com/fjhd5ywa







