මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන් වෙත භාර දෙන ලෙස රසයනාගාරයෙන් ඉල්ලුවද රසයනාගාරය විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දීය යුවලක් අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පසුව ඔවුන්ගේ මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු, ඔවුන්ට ආදේශක ක්‍රමයකින් (surrogacy) මුණුබුරෙකු ලැබිය හැකි නිසා ඔවුන් “අතිශයින් සතුටු වූ” බවයි එම යුවළක් පවසා ඇත්තේ.

එසේම මෙම සුවිශේෂී දිල්ලි මහාධිකරණ තීන්දුව ලැබී ඇත්තේ වසර හතරක නීතිමය අරගලයකින් පසුවයි.

2020 දෙසැම්බර් මාසයේ දී දිල්ලියේ ගංගා රාම් රෝහල විසින් ඔවුන්ගේ සඵලතා රසායනාගාරයේ ගබඩා කර ඇති එම යුවළගේ පුත්‍රයාගේ ශුක්‍රාණු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව කෞර් මහත්මිය සහ ඇගේ සැමියා ගුර්වින්දර් සිං මෙසේ අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මේ යුවළගේ 30 හැවිරිදි පුත්‍රයා වන ප්‍රීත් ඉන්දර් සිංට 2020 ජුනි මාසයේ දී රුධිර පිළිකා ස්වරූපයක් (Non-Hodgkin’s Lymphoma) ඇති බවට රෝග විනිශ්චය කර තිබූ අතර, ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතව තිබෙනවා.

එසේම ප්‍රතිකාර නිසා ඔහුගේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට බලපෑමක් ඇති කරන බව පවසමින්, කිමෝතෙරපි පටන් ගැනීමට පෙර ශුක්‍රාණු ගබඩා කරන ලෙස රෝහලෙන් ඔහුට උපදෙස් ලබා දී තිබෙන බව ඔහුගේ පියා පවසනවා.

අවිවාහකව සිටි ප්‍රීත් ඉන්දර් එයට එකඟ වී ඔහුගේ සාම්පල 2020 ජුනි 27 ශීත කරන ලද නමුත්, අවාසනාවන්ත ලෙස ඔහු සැප්තැම්බර් මස මුල දී මිය ගොස් තිබෙනවා.

මාස කිහිපයකට පසු, ශෝකයට පත් මව්පියන් ඔවුන්ගේ පුත්‍රයාගේ ශීත කළ ශුක්‍රාණු ලබා ගැනීම සඳහා සොයා බැලූවිට රෝහල විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉන්පසුයි එම යුවළ විසින් දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත්තේ.

වයස 60 ගණන්වල පසුවන මෙම යුවළ අධිකරණයට පැවසුවේ, ඔවුන්ගේ පුත්‍රයාගේ ශුක්‍රාණු සාම්පල යොදාගනිමින් ඉපදෙන ඕනෑම දරුවෙකු ඔවුන් හදාවඩාගන්නා බවයි.

එසේම ඔවුන් මරණයට පත්වුවහොත් දරුවාගේ සම්පූර්ණ වගකීම භාරගන්නා බවට ඔවුන්ගේ දියණියන් දෙදෙනා ද අධිකරණයේ ප්‍රතිඥා දී තිබෙනවා.

පසුගිය සතියේ මෙයට තීන්දුව ලබා දෙමින් විනිසුරු ප්‍රතිභා සිං පැවසුවේ ශුක්‍රාණු හිමිකරුවා සිය අනුමැති ලබා දී තිබේ නම් “ඉන්දියානු නීතිය යටතේ මරණයෙන් පසු ප්‍රජනනයට එරෙහි කිසිම තහනමක් නොමැත,” යනුවෙන්.

ඔවුන්ගේ පුත්‍රයාගේ උරුමය ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් ඔවුන් උසාවි මඟට පිවිසුණ බවත්, මෙම තීන්දුව ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමටත් පෙළපත් නාමය දිගටම පවත්වාගෙන යාමටත් සහාය වන බවත්, එම යුවළ පවසනවා.

source :- https://tinyurl.com/3s583hav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here