
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකර සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කිරිම ඇතුළු චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අමරසිරි පණ්ඩිතරත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාග කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව දෙසැම්බර් මස 18 වනදා යළි කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කිරිම හා සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල සහ චම්පික රණවකගේ රියදුරු වන දිළුම් තුසිත කුමාර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
source :- https://tinyurl.com/5cfms6ze







