අද (11) දිනයේත් දිවයින පුරා පැය එක හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්කර සිටියේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේ.

පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි දෝෂයක් සමග පසුගිය 09 වැනිදා දහවල් 11.15ට පමණ සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳවැටුණු අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම මෙම විදුලිය බිඳවැටීමට හේතුවූ බවයි.

වඳුරෙකු ගැටීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදෙස් මාධ්‍ය රැසකම වාර්තාකරනු ලැබුවා.

දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනන යන්ත්‍ර 3ම අක්‍රිය වුණා.

එම ජනන යන්ත්‍ර 3 සක්‍රිය කරගැනීමට දින 04ක් පමණ ගතවීම හේතුවෙන් එතෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඊයේ දහවල් පැවැති සාකච්ඡාවකදී තීරණය කළා.

ඒ අනුව ඊට අදාළ විදුලි කප්පාදු යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කෙරුණු අතර එම කොමිසම ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ සහ අද පස්වරු 3.30ත් රාත්‍රී 10.00 ත් අතර කාලය තුළ කාණ්ඩ 04 ක් යටතේ පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීම සිදුවනවා.

මෙහිදී A,B,C,D යන කලාපවලට පස්වරු 3.30 සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය එකහමාරක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

E,F,G,H,U,V යන කලාපවලට පස්වරු 5.00ත් රාත්‍රී 7.00ත් අතර කාලය තුළ පැය එකහමාරක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා.

I,J,K,L,P,Q යන කලාපවලට පස්වරු 6.30ත් රාත්‍රී 8.30ත් අතර පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

R,S,T,W යන කලාපවලට රාත්‍රී 8.00ත් රාත්‍රී 10.00ත් අතර පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙලෙස විදුලිය විසන්ධි කරන වේලාව සහ විදුලිය යථා තත්ත්වයට පත් වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30ක් ඇතුළත වෙනස් වීමට ඉඩ පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.

ඔබ ප්‍රදේශයට අයත් අක්ෂරය සහ විදුලිය විසන්ධි වන වේලාව දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න… (Click)

No description available.

source :- https://tinyurl.com/2uvhvsr6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here