
විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්රවනු ඇති බවයි එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ.
එමෙන්ම හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.
ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 4 වන දින චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසා තිබුනේ මෙවැන්නක්,
“අද පවතින තත්ත්වය තුළ හෙදියන් තුන් දෙනෙකුගේ වැඩ එක් හෙදියකට කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ හේතුව නිසා හෙදියන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 දක්වා දික්කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළේ නෑ. දැන් මේ සියල්ල සැලකිල්ලට ගෙන නඩුව තියෙනවා ජුලි 17 වෙනිදා. ඊට කලින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා හැමෝටම අවුරුදු 60න් විශ්‍රාම යන්න කියලා. ඇත්තටම අපිට තේරෙන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන්ට මොකද වුණේ කියලා.”
නමුත් හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම ගැටලුවක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී මැදිවත්ත මහතා කියා සිටියේ.







