සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්.එස්. දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 14 වැනිදාට පෙර ගොනු කරන ලෙසයි.

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26 පෙර ගොනු කරන ලෙසත් අධිකරණය නියෝග කළා.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී. චන්ද්‍රසිංහ විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම්කරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා තමා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබූ බවයි.

යම් හෙයකින් ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයේදී තමන්ව අදාළ දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම තුළින් දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඔහු කියා සිටියා.

ඊට අමතරව සිය සේවාදායකයා සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව එම තනතුරු අහෝසි කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබෙන බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ චාමර නානායක්කාරවසම් පෙනී සිටියා.

source :- https://tinyurl.com/muvke4kn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here