පුනරින් සහ මන්නාරම යන ප්‍රදේශවල අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආයෝජනයකින් සිදු කිරීමට නියමිතව තිබූ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම ගෙන ඇති තීරණය පිළිබදව එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.

අදානි සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සමක් කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති පසුබිමකයි.

පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර සඳහා ඉන්දීය අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය 2023 වසරේ පෙබරවාරි 23 වැනිදා ලබා දී තිබුණා.

මෙමගින්, මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි පෙර ප්‍රකාශ කෙරුණේ.

අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමාගම මන්නාරම සහ පුනරීන් සුළං බලාගාර සඳහා ඉදිරිපත් කර තිබුණේ, කිලෝවොට් පැය එකකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක් වැනි ඉහළ ලංසුවක්.

මේ අතර අදානි සමාගම සුළං විදුලි බල ව්‍යාපෘතියෙන් පෙබරවාරි 02 වැනිදාවන විට ඉවත්වනු ඇති බවට මීට පෙරද ඇතැම් මාධ්‍ය වාර්තා පළවූ අතර ඊට පිලිතුරු දෙමින් අදානි සමාගම පසුගිය ජනවාරි 24 නිවේදනය කළේ තම සමාගම එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන් දින කිහිපයක් ගතවෙද්දී පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වන බව ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට කැබිනට් මණ්ඩලය සමාලෝචන කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට නියමිත බව දැනගැනීමට ලැබුණු බවයි.

ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳව අදානි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතීන්ට ගරු කරමින් මෙම ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත්වීමට තීරණය කළ බවත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙතදැනුම් දී තිබෙනවා.

අදානි සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා ශ්‍රී ලංකා හරිත සංවිධානය ගොනු කළ රීට් පෙත්සමක් ලබන මැයි මස 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති පසුබිමකයි.

එසේම, මෙම ව්‍යාපෘතියට අදාළ තීරණාත්මක නඩු කිහිපයක්ද ලබන මාර්තු මාසයේදී විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර, මෙලෙස අදානි සමාගම පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

source :- https://tinyurl.com/2s469auj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here