ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ ද රැගෙන පලාගිය ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයාගේ පෙම්වතිය බව කියන තැනැත්තියක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට පෙර එම කොස්තාපල්වරයාගේ මව්පියන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

තවද, එම කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම 28 හැවිරිදි තවත් කොස්තාපල්වරයෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබුණා.

රටින් පලා ගිය කොස්තාපල්වරයා භාවිත කළ ස්කූටර් වර්ගයේ යතුර පැදිය දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසක් අසල තිබියදී රැගෙනවිත් අත්තිඩිය තනිකඩ භට නිවාසය අසල සඟවා තැබීම ඔහුට එරෙහි චෝදනාවයි.

ගල්කිස්ස පොලිසියේ සේවය කළ කවිඳු ප්‍රකාශ් ජයකොඩි නම් 25 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා එහි අවිගබඩාවෙන් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් සහිත පතොරම් ගැබක් රැගෙන පලාගොස් තිබුණේ පසුගිය 08 වැනිදායි.

ඔහු ඩුබායි බලා පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණා.

එමෙන්ම රටින් පලාගිය කොස්තාපල්වරයා කටුනායක ගුවන්තොටුපලින් පිටව යන අවස්ථාව දක්වා ඔහු සමග පෙර සඳහන් කොස්තාපල්වරයා සබඳතා පැවැත් වූ බව දුරකථන විශ්ලේෂණ වලින් තහවුරු වී ඇතැයි ද පොලිසිය පැවසුවා.

ඒ අනුව එම කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ, අදාළ කොස්තාපල්වරයා රටින් පලාගිය කොස්තාපල්වරයාට සිව් වතාවක් ඇමතුම් ලබාගෙන තිබූ බවයි.

අදාළ ස්කූටර් වගයේ යතුරු පැදිය රැගෙන ඒමට ඔහු ගොස් තිබුණේ තවත් නිලධාරියෙකු සමග බවත්, වැරදි සහගත දෙයක් සිදුකිරීමට නම් රාජකාරී නිල ඇඳුමෙන් එම යතුරු පැදිය රැගෙන ඒමට නොයන බවත්, නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

කරුණු සලකා බැලූ අධිකරණය පොලිසියට අවසර දුන්නේ සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

රටින් පලාගොස් සිටින කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

source:- https://tinyurl.com/mr2j8z5a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here