
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන්කර සිටියා.
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණවෙන බව සඳහන්.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශිලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ Price water house Coopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇති බව සඳහන්.
එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙසේ ලැබී තිබෙනවා.








