නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම සිකුරාදා තෙක් තවදුරටත් අක්‍රිය තත්ත්වයේ පවතින අතර හෙට සිට යළි විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීම පිළිබඳව තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

දිවයිනේම විදුලි සැපයුම ඉකුත් ඉරිදා පෙරවරුවේ බිඳවැටුණු අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කර තිබුණේ, පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම ඊට හේතු වූ බවයි.

දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රිය වුණේ, ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් අහිමි කරමින්.

මේ හේතුවෙන් මෙගාවොට් 2,600 ක් වන දෛනික උපරිම විදුලි ඉල්ලු‍ම සපුරා ගැනීමේදී පැන නැගුණු මෙගාවොට් 200ක හිඟය ආවරණය කර ගැනීමට විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවුණා.

ඒ අනුව පෙරේදා සහ ඊයේ පස්වරු 3.30 ත් රාත්‍රි 9 යි 30 ත් අතර කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදු කිරීමටයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදුන්නේ.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ධම්මික විමලරත්න කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරය කඩිනමින් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම අනිද්දාට පෙර එක් යන්ත්‍රයක් හෝ යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කිරීමට අපේක්ෂ කරන බව ද ඔහු සදහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, නොරොච්චෝලේ බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම එම බලාගාරයේ දෝෂයක් නොවන බවයි.

source :- https://tinyurl.com/ycxrucdx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here