2030 වන විට මෙරටට ඩිජිටල් අපනයනවලින් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (05) ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව දියත් කිරීමේ උත්සවයේදීයි.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය හා සම්පූර්ණයෙන්ම එක්වූ විට එහි වාර්ෂික වර්ධන වේගය (CAGR) 1-2%ක වැඩිවීමක් දැකිය හැකි අතර එසේ වර්ධනය වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයට මෙම 1-2%ක වැඩිවීම දෙගුණ කළ හැකි බව ඔහු සඳහන් කළා.

තවද, ඩිජිටල් ශ්‍රම බලකාය 20% දක්වා වැඩි කිරීමෙන් වාර්ෂික ඩිජිටල් අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 15ක් උපයා ගත හැකි බවටයි ඔහු සඳහන් කළේ.

එහිදී උපදේශකවරයා මෙසේද පැවසුවා,

“ශ්‍රී ලංකා රජය විසින් ඩිජිටල් ආර්ථික ප්‍රගමනය සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය, ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් පැහැදිලි වෙනවා. සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලැබෙන ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට මෙම අමාත්‍යාංශය කැපවී සිටිනවා.

ඩිජිටල් පරිවර්තනය තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමත්, පුරවැසි සහ ව්‍යාපාර සේවාවන් නව පරාසයකට ඉහළ නැංවීමත්, සමාජ-ආර්ථික පිරමීඩයේ ඇති අසමමිතිය මුලිනුපුටා දැමීම අපගේ අරමුණ වෙනවා. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම සහ කඩිනම් කිරීම මෙම උපාය මාර්ගයේ මූලික සන්ධිස්ථානයක්. DPI සමුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාන අදහස් ඇති පාර්ශ්වකරුවන්ගේ උත්සාහය, කැපවීම සහ සහාය එක් කරනු ඇතැයි අපට විශ්වාසයි.”

source :- https://tinyurl.com/32p98uxs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here