නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ නව රජය ලෙස පසුගිය මාස 04 තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබදව අවදානය යොමු කළ බවයි.

පැවති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මධ්‍යයේ ජනතාව එක්ව ගොඩනැගූ රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් පවතින අතර, පොරොන්දු වූ පරිදි මේ වනවිට ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැදවාගෙන යාමට රජය කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය ද නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ඓතිහාසික දිනයේදී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට සියලුදෙනා අත්වැල් බැදගත යුතු බවයි.

සැබෑ නිදහස යනු ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කරදීම බවද අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයෙන් දක්වා තිබෙනවා.

මේ අතර, බලය ලබාගැනීමේ පටු අරමුණු හේතුවෙන් රට ලැබූ ජයග්‍රහණ යටපත් කළ දේශපාලන මිත්‍යාවන් නිසා අද රට මුහුණ පා ඇති බරපතල අභියෝග විචාරශීලීව විමසා බැලීම අප ලැබූ නිදහස තවදුරටත් අර්ථවත් කිරීමට හේතුවනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පැරණි ප්‍රශ්නවලට පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බවයි.

source :- https://tinyurl.com/hwdzfujn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here