කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවකගෙන් රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සමාගමේ අධ්‍යක්ෂකවරයාට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ඔවුන් ලබන මස 13 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ඊයේ නියෝග කෙරුණේ.

තැන්පත්කරුවන් 3000කට අධික පිරිසකගෙන් මෙලෙස මුදල් වංචා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වනවා.

මෙම ආයතනයට එරෙහිව නව පැමිණිලි 1910ක් සහ නව බැංකු ගිණුම් 65ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

එසේම අගතියට පත් පාර්ශවයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව සියලු‍ තැන්පත්කරුවන්ට අලාභයක් සිදුවී ඇති බවද තවත් සැකකාර අධ්‍යක්ෂකවරුන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට අපහාසයක් හා මානසික පීඩාවක් ඇතිවන ආකාරයේ දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරි බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් 03 දෙනෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුනක් හා පරිගණකයක් රජය රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළා.

තමන්ට අපහාස වන ආකාරයේ ලිංගික අපචාරයක් සම්බන්ධ දැන්වීමක් කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුවනවා.

source :- https://tinyurl.com/595cw5zb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here