ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, ඊයේ (25) දින රාත්‍රී කාලයේ සහ අද (26) අළුයම මන්නාරමට උතුරින් වූ මෙරටට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සමඟ ඉන්දීය ධීවරයින් තිස් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ, තලෛමන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදුකළ බවයි.

එහිදී, තවදුරටත් මෙරටට අයත් මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සමඟ ඉන්දීය ධීවරයින් තිස් තුන් දෙනෙකු මෙලෙස තම භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් භාරයට ගත් ගත් ඉන්දීය ධීවර යාත්‍රා තුන සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පිරිස ඉරණතිව් දූපත වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බවත් නාවික හමුදාව සඳහන් කළා.

source :- https://tinyurl.com/yc736nxb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here