
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල් වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේශන අංශය විසින් සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ.
තිළිණ ලක්මාල් විජේසුන්දර නමැති මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාළ ටිකට්පත් ලබාගෙන ඒවා වැඩි මුදල් වලට අලෙවි කර තිබෙන බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි.
ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසියේ විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම සැකකරු සන්තකයේ තිබී රුපියල් 130,000 පමණ මුදලක් සොයා ගත් අතර, ඒවා මෙම ටිකට්පත් අලෙවියෙන් සොයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පැවසුවා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්රාත්වරිය නියෝග කළා.
ඊට අමතරව සැකකරු භාරයේ තිබී සොයා ගත් මුදල් අධිකරණයේ ගිණුමට බැර කරන ලෙසත් මහේස්ත්රාත්වරිය විසින් යෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණා.
source :- https://tinyurl.com/2aueves4







