
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි 17කට අධික දේපළ හා මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් ඤාති සහෝදරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 08 බැගින් සිර දඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
මෙහි විත්තිකාරියන් ලෙස නම් කර තිබූ වෙලේ සුදා නමැත්තාගේ බිරිඳවන ගයනී ප්‍රියදර්ශනී සහ ඥාති සොහොයුරියක වූ වසන්ති වසුන්දරා යන අයට ද මෙසේ දඬුවම් නියම වුණා.

එමෙන්ම මෙම නඩුවේ පළමුවන විත්තිකාරිය වශයෙන් නම් කර තිබූ වෙලේ සුදාගේ බිරිඳවන ගයනී ප්‍රියදර්ශනී නමැත්තියට රුපියල් කෝටි 12කට අධික දඩයක්ද වෙලේ සුදා නමැත්තාට රුපියල් කෝටි තුනකට අධික දඩයක්ද නියම කෙරුණා.
ඊට අමතරව නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 17කට අධික දේපළ, මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ පළමුවන විත්තිකාරිය සහ දෙවන විත්තිකරු අඹු සැමියන් බැවින් ඔවුන්ට එරෙහිව කුමණ්ත්‍රන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බව සඳහන් කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 04 වන වගන්තියට අනුව යම් පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන සිටින නිශ්චල සහ චංචල දේපල නීත්‍යානුකූල ආදායම් මාර්ගයකින් අත්පත් කරගත් බව ඔප්පු කිරීමට අසමත්වන අවස්ථාවක එම දේපළ නීති විරෝධී ලෙස අත්පත් කරගත් දේපළ ලෙස සැලකෙන බව විනිසුරු වරයා සඳහන් කළා.
ඒ අනුව, විත්තිකරුවන් ණය දෙන ආයතනයක් එනම් පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය බව සඳහන් කර තිබුණද එම සමාගමේ ලේකම්වරියගේ සාක්ෂියට අනුව එම සමාගම ලියාපදිංචි කර තිබුණද එය සක්‍රිය ලෙස පවත්වාගෙන නොයාමට හේතුවෙන් එහි ලියාපදිංචි ඉවත් කර තිබූ බව අනාවරණය වූ බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.
විත්තිකරුවන්ට වෙනත් ස්වාධීන ආදායම් මාර්ගයක් තිබූ බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය නොවූ පෙන්වා දුන් විනිසුරුවරයා, ඒ අනුව මෙම නඩුවට පාදකවන නිශ්චල සහ චංචල දේපල හෙරොයින් ජාවාරම තුළින් උපයාගත් මුදල් වලින් අත්පත් කර ගෙන තිබෙන බව පැහැදිලි වන බවත් සඳහන් කර සිටියා.
මෙලෙස නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා මෙම විත්තිකරුවන් එකගතාවයක් ඇතිව කටයුතු කර තිබෙන අතර ඒ අනුව විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරන බවත් සඳහන් කළා.
ඉන් අනතුරුව විත්තිකාර වෙලේ සුදා හා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් තිදරු මව්පියන් බවත් ඔවුන්ගේ එක් පුත්‍රයෙකු හෘද රෝගී තත්වයකින් පසුවන බවත් සඳහන් කළා.
මෙම වරද සිදු වූ කාල සීමාවේ තම සේවාදායකයා (වෙලේ සුදා) විදේශ ගතව සිටි අතර, මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් එම නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තුන්වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව දෙදරු මවක් වන අතර ඇයට පෙර වැරදි නොමැති බවත් සඳහන් කළා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දඩුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් නීති විරෝධී ලෙස මෙම නිශ්චල සහ චංචල දේපල අත්පත් කරගෙන ඇති බව තහවුරු වී ඇති බැවින් මෙවැනි වැරදි සිදු කරන පුද්ගලයින්ට හා සමාජයට පණිවුඩයක් දියහැකි සුදුසු දඩුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, තම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අවස්ථාව තිබෙන බවත් සඳහන් කර සිටියා.
2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සහ 2012 වසරේ අප්‍රේල් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි දාහතකට අධික නිවාස, දේපළ, මුදල්, ස්වර්ණාභරණ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමයි පනත යටතේ වරදක් සිදුකළ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල් වලින් අත්පත් කරගෙන තිබූ රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ සහ බගතලේ පාරේ මෙන්ම මැකාදි සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස කිහිපයක්, අධි සුඛෝපභෝගී වාහන 4ක් හා රන් ආභරණ කිලෝ තුන හමාරක් රාජසංතක කිරීමට විනිසුරුවරයා නියෝග කළා.
ඊට අමතරව විත්තිකරුවන්ගේ නමින් පවත්වාගෙන ගිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක් ද රාජසන්තක කිරීමට ද නියෝග කෙරුණා.
source :- https://tinyurl.com/2p4a8v9s







