ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම් RD තත්ත්වයේ සිට CCC+ තත්ත්වය දක්වා උසස් කිරීමට ෆිච් රේටින්ස් ආයතනය කටයුතු කර තිබෙනවා.

එම ආයතනය සඳහන් කළේ මෙරට දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම CCC- සිට CCC+ දක්වා ද උසස් කර ඇති බවයි.

මේ හරහා දේශීය මුදල් ණය මත පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බවද එම ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ තාවකාලික අත්තිකාරම් නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් බවට හුවමාරු කර ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් මාසයේදී සිය දේශීය ණය ප්‍රශස්තකරණයේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කර තිබුණා.

මේ අතර, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැදුම්කර 08ක් මගින් දේශීය බැදුම්කර විකල්පය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හුවමාරු කිරීම ඊයේ සිදුවුණා.

ශ්‍රී ලංකා රුපියල් වලින් නාමකරණය කරන ලද මෙම නව භාණ්ඩාගාර බැදුම්කර 08න් 07ක් 2024 සැප්තැම්බර්ඩ 15 නිකුතු දිනය ලෙසින් සදහන් කර ඇති අතර, 2036 සිට 2043 දක්වා කල් පිරෙන පරිදි ඒවා වර්ගීකරණය කර තිබෙනවා.

සියලු බැදුම්කර රුපියල් මිලියන 19,466ක වෙන් කළ මුදලකින් සමන්විතයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන යටතේ ඩොලර් මිලියන 333ක මීළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කිරීම වෙනුවෙන් විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය ඉදිරි මාස කිහිපය තුළ පවත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් ප්‍රකාශ කළේ ලක් රජය ඊට අදාළ පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමෙන් පසු එම සලකා බැලීම සිදුවනු ඇති බවයි.

එම නිවේදනය මෙතැනින්,

source :- https://tinyurl.com/yzk5c3ym

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here