
2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වූ සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලකට එරෙහිව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ භාරදීම සිදුකළා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළා.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළා.
ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි මස 30 වැනිදා කැඳවීමටද නියම වුණා.
2015 වසරේ අප්‍රේල් මස 07 වැනිදා සහ 2016 වසරේ ජූලි මස 15 වැනිදා අතර කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කරමින් Techno medies international සමාගමින් ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීම සඳහා අනුමත කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකොට “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කර තිබෙන අතර, නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 16ක් ද ඉදිරිපත් කර තිබෙනවා.
source :- https://tinyurl.com/yckeuphn







