
කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 31වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද අද (13) නියෝග කළා.
2012 වසරේ ජනවාරි මස 24වනදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන් අතර ඇතිවූ ගැටුම් වලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට අධික අනර්ථයක් බන්ධනාගාර දේපළවලට සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් 54 දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
මෙම නඩුවේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ කොට්ඨාශයෙන් ප්රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටි විත්තිකරුවන් පස්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
මෙම නඩුව ඉකුත් දිනයේ කැඳ වූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් පිරිසක් වන්දි ගෙවා නඩු කටයුතු අවසන් කිරීමට එකඟ වුණා.
ඉන් අනතුරුව අදාල නඩුව ජනවාරි මස 31 වනදා කැදවීමට නියෝග කෙරුණා.
source :- https://tinyurl.com/2hn3exa2







