
ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.
වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.
එමෙන්ම රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කර සිටියා.
අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බව ඔහු පවසා සිටියා.
අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයෙහි ප්‍රමඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව පවතින දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.
ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, GSH සිටි හොටෙල් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දීපාල් නෙල්සන්, ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, රීජන් රිනීවර්බල්ස් ප්‍රයිවර්ට් ලිමිටඩ් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ පැට්‍රික් අල්විස්, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
source :- https://tinyurl.com/2w67atks







